ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය. එහිදී සම්මාන ආචාර මුරයකින් යුතුව ආරක්ෂක ලේකම් තුමන් පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්යක්ෂ මණ්ඩලය හා විධාන ආඥාපතිවරුන් එතුමන් හට හඳුන්වා දෙනු ලැබීය.
අනතුරුව නාවික හමුදාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම්තුමන් ඉදිරි නාවික මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කරමින් සුහද කතාබහක නිරත වූ අතර, පසුගියදා නාවික හමුදා අධීක්ෂණය යටතට පත්කළ “ඇවන්ට් ගාඩ්” මෙහෙයුම් සම්බන්ධයෙන් ද එහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී. මෙම සංචාරය අතරතුර නාවික හමුදා මූලස්ථාන මෙහෙයුම් මැදිරිය ද ආරක්ෂක ලේකම්තුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ආරක්ෂක ලේකම් ධූරයේ වැඩභාර ගැනීමෙන් පසුව නාවික හමුදා මූලස්ථානයේ පළමු වරට සිදුකළ මෙම සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් ආරක්ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.








