පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී සිද් රිස්වාන් කලීඩ් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවූ අතර, නාවික හමුදා මූලස්ථානයේදී අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ද එක් විය. මෙම පිරිස හෙට (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට ද අපේක්ෂිතය.
‘ශම්ෂීර්’ නෞකාව දෙසැම්බර් මස 03 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ද්විපාර්ශ්වීය මිත්‍රත්වය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය.



