ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් ඩල්බිර් සිං සුහාග් මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ජෙනරල් ඩල්බිර් සිං මහතා හට සම්මාන ආචාර මුරයක් පිරිනමන ලද අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගෙන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය හා ප්‍රාදේශීය ආඥාපතිවරුන් හඳුන්වා දෙනු ලැබීය.
එම හමුවේදී දිගු කාලීන ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ අවධානය යොමු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතාබහක නිරත වූ අතර, දෙරටෙහි හමුදාවන් අතර මිත්‍රත්වය සංකේතවත් කරමින් එහිදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි, පස් දින නිල සංචාරයක් සඳහා ජෙනරල් ඩල්බිර් සිං මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ජෙනරල් ඩල්බිර් සිං, පීවීඑස්එම්, යූවයිඑස්එම්, ඒවීඑස්එම්, වීඑස්එම්, ඒඩීසී, දශක 4ක කීර්තිමත් යුද සේවයක් සහිත ඉන්දීය යුද හමුදාවේ 26 වන යුද හමුදාපතිවරයා වේ. ඔහු කළමණාකරනය සහ යුදෝපක්‍රම පිළිබඳ ඉන්දියාවේ ඔස්මානියා හා චෙන්නායි විශ්වවිද්‍යාලයන්හි ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන අතර, ඔහුගේ විශිෂ්ට යුද සේවය අගයමින් පරම විශිෂ්ට සේවා පදක්කම, උත්තම යුද සේවා පදක්කම, අති විශිෂ්ට සේවා පදක්කම හා විශිෂ්ට සේවා පදක්කම ඉන්දීය රජය විසින් ඔහු වෙත ප්රදානය කර ඇත.








