65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පවත්වයි
දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් දෙසැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි පැවැත්විණි. සධාතුක කරඬුව රැගත් අලංකාර පෙරහැරකින් ආරම්භ වුණු මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, යමුණා විජේගුණරත්න මහත්මිය, මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා බටහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.
සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව පසුදින සංඝයා වහන්සේලා හැට පස් නමක් විෂයෙහි දානමය පිංකමක් ද පැවැත්වුණු අතර, මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිපිදූ නාවික විරුවන්ටත්, නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික විරුවන්ටත් එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මිය ගිය රණ විරුවන්ගේ පවුල්වල ඥාතීන් හට ද සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලදී.



























