නාවික හමුදාව දරුණු ලෙස තුවාළ ලද ධීවරයකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අයෝධ්‍යා’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි දරුණු ලෙස තුවාළ ලැබූ ධීවරයකු අද (31) උදෑසන කඩිනම් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
හික්කඩුව පොලීසිය මගින් සිදුකළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රීලංනානෞ සුරනිමල නෞකාව පිටත්කර යැවීමට කටයුතු කළ අතර, දෙවුන්දර තුඩුවට නාවික සැතපුම් 173ක පමණ දුරකදී රෝගියා සුරනිමල නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව වේග ප්‍රහාරක යාත්‍රාවක ද සහාය ඇතිව ගාල්ල වරාය දක්වා රැගෙන ඒමට කටයුතු කෙරිණි. දකුණු පාදයේ පහළ කොටස බිඳී යාම නිසා දැඩි ලෙස අසාධ්‍යව සිටි ඔහු කඩිනම් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි.





