ඉන්දියානු නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව හරසරින් පිළිගනියි
ඉන්දියානු නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “වික්‍රමාදිත්‍ය” නෞකාව සහ “මයිසූර්” යුද නෞකාව අද (21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව ඉතාමත් හරසරින් එම නෞකාවන් පිළිගන්නා ලදී. සුහද සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් ජනවාරි මස 24 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. මෙම නෞකාවන් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා කටයුතු කරන අතර, නෞකා අණදෙන නිලධාරීන් ලෙස කපිතාන් කේ ස්වාමිනාදන් මහතා හා කපිතාන් එම් පෝල් මහතා කටයුතු කරනු ලබයි. මෙම නෞකාවන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළ සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් රාශියකට ද සහභාගී වනු ඇත. ඒ අනුව ජනවාරි මස 21 වන දින නෞකාභාර ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ නෞකා අණදෙන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.
එමෙන්ම, ජනවාරි 22 සහ 23 දිනයන් හි ඉන්දීය නාවිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති සංස්කෘතික වැඩසටහන් කිහිපයකට ද, වැලිසර නාවික කඳවුරේ පැවැත්වෙන පාපන්දු හා පැසිපන්දු තරඟ කිහිපයකට ද එහි නැව් මූළුව සහභාගී වීමට නියමිතව ඇත. තවද, 23 වන දින ගාල්ල නෙළුව ප්‍රදේශයේ දී ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාවේ දී පුහුණු වැඩසටහන් කිහිපයක් ද පැවැත්වේ. මෙම නෞකාවන් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නෞකා අභ්‍යාසයක් ද සිදු කෙරෙනු ඇත.
“හිරුමෙන් ශක්තිමත්” යන අරුත දෙන “වික්‍රමාදිත්‍ය” නෞකාව මීටර් 284ක දිගකින් හා මීටර් 60ක පළලකින් යුක්ත වේ. ප්‍රහාරක ගුවන් යානා 36ක් ප්‍රවාහනය කර ගුවන්ගත කළ හැකි එම නෞකාව මහල් 22කින් යුක්ත වේ. 1,700ක නෞකා කාර්ය මණ්ඩලයකින් හා ටොන් 44,500ක ධාරිතාවයකින් යුත් මෙම නෞකාව මගින් මුහුදු සැතපුම් 7,000ක දුරක් ආවරණය කිරීමේ හැකියාව ඇත. දිගුදුර ගගන නිරීක්ෂණ රේඩාර් උපකරණ හා නවීන විද්‍යුත් යුද්ධෝපක්රම පද්ධතිය නෞකාව වටා කිලෝමීටර් 500ක වපසරියක් ආවරණ කෙරෙන විමර්ශණ බුබුළුවක් පවත්වා ගැනීමට හැකියාව ලබාදේ. එම නෞකාව MiG-29 K වර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවන් 30ක් සහ Kamov Ka-31 හෙලිකොප්ටර් යානා 6 කින් ද සමන්විත වේ. “වික්‍රමාදිත්‍ය” නෞකාව රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන අතර, ඩොලර් බිලියන 2.3ක වියදමක් දරා නවීකරණයෙන් පසුව 2013 නොවැම්බර් මස දී ඉන්දීය නාවික හමුදාවේ සේවය සඳහා එක්ව ඇත.
දිගින් මීටර් 163කින් හා පළල මීටර් 17 කින් යුක්ත වන “මයිසූර්” යුද නෞකාව ටොන් 6,600 ක ධාරිතාවයකින් යුක්ත වේ. එම නෞකාවට නිලධාරීන් හා නාවිකයින් 440 දෙනෙකු අනුයුක්තව සිටී.
















