සුහද සංචාරයක් සඳහා පැමිණි “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි. සිව් දින නිල සංචාරයක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා දින කොළඹ වරායට පැමිණි මෙම නෞකාවන් අතරින් “වික්‍රමාදිත්‍ය” නෞකාව ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන නෞකා වර්ගයට අයත් වේ. “මයිසූර්” නෞකාව මිසයිල නාශක නෞකාවකි.
මෙම පිළිගැනීමේ උත්සවය සඳහා රජයේ අමාත්‍යවරුන් වන ගරු ජෝන් අමරතුංග, ගරු විජයදාස රාජපක්ෂ, ගරු ෆයිසර් මුස්තාපා, ගරු දයාසිරි ජයසේකර, ගරු දයා ගමගේ, ගරු ඒඑච්එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු ප්‍රභූ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී විය. නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ වික්‍රමාදිත්‍ය නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ක්‍රිශ්ණා ස්වාමිනාදන් මහතා විසින් ආරාධිතයින් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
උත්කර්ශවත් අයුරින් පැවති මෙම පිළිගැනීමේ උත්සවය තවදුරටත් වර්ණවත් කරමින් ඉන්දීය සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මියුරු සංගීතයෙන් හා නර්තනයන්ගෙන් හැඩගැන්විණි. පැමිණි ආරාධිතයින් හට එහිදී ඉන්දීය නාවික නිලධාරීන්ගෙන් ලැබුණේ ඉතාමත් ඉහළ පිළිගැනීමකි.












