ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ ඉන්දීය නාවික හමුදාවේ වික්‍රමාදිත්‍ය නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය එක්ව පවත්වන ලද මෙම වෛද්‍ය කඳවුර මගින් ප්‍රදේශයේ අවට පදිංචි 1,000 කට වඩා වැඩි සිවිල් ජන පිරිසක් සඳහා වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමට හැකි විය. එම වෛද්‍ය කඳවුර දෙරටේ ජනතාව අතර සැබෑ මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද්දකි.
රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම, ඊ.සී.ජී පරීක්ෂා සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවන් ඇතුළු වෛද්‍ය පහසුකම් රැසක් එහිදී රෝගීන් වෙනුවෙන් සංවිධානය කර තිබුනු අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීම් වලින් අනතුරුව දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ලබා දීමක්ද එහිදී සිදු කෙරිණි.
දුරබැහැර ප්‍රදේශවල ජීවත් වීම සහ පොදු ගමනාගමන පහසුකම් අල්ප වීම හේතුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර සහ උපදෙස් ලබා ගැනීමේදී තමන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව සිදු කළ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ඒ සඳහා සහභාගී වූ සිවිල් ජනතාවගේ නොමද ප්‍රශංසාවට ද ලක්විණි. තවද, උතුම් පොහොය දිනයක වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා වෛද්‍යාධාර ලබා දීම වැනි උතුම් කාර්යයක් සිදු කරමින් සිය ගම් ප්‍රදේශයට මහත් සහනයක් සැළසීම පිළිබඳව ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ඉන්දීය නාවික හමුදාවට සිය හෘදයාංගම කෘත්යඥතාවයද එහිදී පිරිනමන ලදී.








