වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ
වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් 52 දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (26) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආරක්ෂක ආමාත්‍යංශයේ සන්නද්ධ හමුදා සුභසාධන අංශයේ මෙහෙයවීමෙන් සිදු කරන සුභසාධන වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය.
AIA රක්ෂණ සමාගම විසින් මාතෘ භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන්වැද ආබාධිත තත්වයට පත්වූ විරෝධාර නාවික රණවිරුවන් වෙත ලබා දීම සඳහා නාවික හමුදා සුභසාධක අංශය වෙත රෝද පුටු 10 ක්, කිහිළිකරු 05 ක් සහ සේවා වනිතා ඒකකය වෙත පරිගණක යන්ත්‍ර 5 ක් ලබා දීමද එහිදී සිදු කරන ලදී. ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ AIA රක්ෂණ සමාගම එක්ව රණවිරුවන් සඳහා විශේෂ ණය පහසුකම් රැසක්ද ණය මුදල ලබා ගන්නා සියළුම අයදුම්කරුවන් වෙනුවෙන් රක්ෂණාවරණ ක්රමයක්ද ක්‍රියාත්මක කරන ලද අතර, එම ණය මුදල ලබා ගත්, මියගිය ප්‍රධාන සුළු නිලධාරී L.I.P. කුමාර රණවිරුවා වෙනුවෙන් ඔහුගේ බිරිද වෙත රක්ෂණාවරණයේ හිමිකම් මුදල ප්රදානය කිරීමද එහිදී සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්ජී පණ්ඩිතරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිතුමා සහ AIA රක්ෂණ සමාගමේ අධ්යක්ෂ (මෙහෙයුම්) ඇතුළු කාර්යය මණ්ඩලය එම අවස්ථාව සඳහා සහභාගී විය.














