2016 CISM Day ධාවන තරඟයට නාවික හමුදාව එක්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කෙරුණු 2016 CISM Day ධාවන තරඟය (Conseil International du Sport Militaire - CISM) අද (21) උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාලු මුවදොර, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසලින් ගුවන් හමුදා මූලස්ථානය දක්වා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. එම ධාවන තරඟය සඳහා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
කිලෝමීටර් 2ක දුර ප්‍රමාණයකින් යුත් මෙම ධාවන තරඟය අවසානයේ දී ඒ සඳහා සහභාගී වූවන් හට යුද හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සහතිකපත් ප්රදානය කිරීම සිදු කෙරිණි.
බ්‍රසල්ස් පදනම් කරගත් අන්තර්ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් හමුදා පුද්ගලයින් අතර ක්‍රීඩාවන් ප්‍රචලිත කිරීමේ අරමුණින් ලොව පුරා මෙම ධාවන තරඟය සංවිධානය කරනු ලබයි. “ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය” යන ආදර්ශ පාඨය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙහි සාමාජිකත්වය ලැබූ රටවල් 133ක හමුදා පුද්ගලයින් මිලියන ගණනක් එක් දිනක් තුළ එකට එක්ව සමගිය පෙරදැරිකොට ගනිමින් ක්‍රීඩාවේ සාරධර්ම සහ ප්රතිපත්තීන් සුරකිමින් එකම අරමුණකින් යුතුව මෙම ධාවනය සඳහා එක් වෙයි.














