අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
2016 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ මළල ක්‍රීඩා පිටියේදී පසුගිය 12 සහ 13 යන දෙදින පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියකින් සමන්විතව පැවැත්වූ තරඟාවලිය සඳහා නාවික හමුදාවේ සියළුම විධානයන් නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී විය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උසස් දක්ෂතාවයන් පිළිබිඹු වූ මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, තුම්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් මීටර් 14.19 ක දක්ෂතාවයක් පෙන්නුම් කළ බටහිර නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු ඉංජිනේරු කාර්මික ඒඩී සූරිආරච්චි දිනාගන්නා ලදී. තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය සතු වූ අතර, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
ජාතික මළල ක්‍රීඩා සංගමයේ විනිසුරුවන්ගේ පූර්ණ සහයෝගීත්වයෙන් දෙදිනක් පුරා පැවති තරඟාවලියේ නිමාව සනිටුහන් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය. එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.






















