ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වැලිසර දී ක්‍රීඩා තරඟ හා විවිධ ප්‍රසංගයක් පවත්වයි
දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී. ඒ අනුව, පාපන්දු තරඟයක් පැසිපන්දු තරඟයක් සහ පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලියක්ද එහිදී පැවැත්විණි. එම තරඟයන්ගෙන් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩකයන්හට ත්‍යාග ලබා දීමද එම අවස්ථාවේදී සිදු කෙරුණු අතර, ඉන් පසුව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ “විල්තෙර” හිදී දිවා භෝජන සංග්‍රහය පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබුණි.
ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව, දෙරටේ පුහුණු වන නිලධාරීන් එක්ව සිය දේශීය අනන්‍යතාවය හා මිත්රශීලීත්වය විදහා දක්වමින් ඉතා අලංකාර මෙන්ම විනෝදජනක විවිධ ප්‍රසංගයක් පවත්වන ලදී. ඉන් අනතුරුව පැවැත්වූ තේ පැන් සංග්‍රහය අතරතුරදී, එම අවස්ථාවන් සනිටුහන් කීරීම සඳහා සමරු තිළිණ සහ ත්‍යාග හුවමාරු කිරීමක් සිදුවූ අතර, ඉතා සාර්ථකව ඒකාබද්ධ ක්‍රියාකාරකම් සිදු කිරීමට හැකිවීමත් ඒ සඳහා උනන්දුවෙන්, කැපවීමෙන් කටයුතු කිරීමත් පිළිබදව දෙරටේ පුහුණු වන නිලධාරීන්හට එහිදී ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ ප්‍රශංසාව ද හිමි විය.




















