ගංගාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි
2016 වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා විනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියද වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා ඊයේ (22) සහභාගී විය.
එහිදී, ගාන්ධාර දේශයෙන් වැඩම කරවූ එරට තක්ෂිලා කෞතුකාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම බුද්ධ ප්රතිමාවන්ද එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් වන්දනාමාන කර ගන්නා ලදී. ඉන් පසුව නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ පංච තූර්ය වාදනය හමුවේ ගංගාරම විහාරස්ථානයේ සිට සීමා මාලකය දක්වා පෙරහැරක් මගින් සධාතුක කරඩුව වැඩම කරවීමේ පුන්‍ය කටයුත්ත ද නාවික හමුදාධිපතිතුමා විසින් සිදු කරන ලදී. ඉන් පසු වෙසක් කලාපය ආලෝකමත් කිරීමේ කර්තව්‍යයට ද එතුමා එක්විය.
ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ගරු. ඒ.එච්.එම් ෆවුසි මහතා, දේශීය මෙන්ම විදේශීය ප්‍රභූ පුද්ගලයන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්, නාවික පුද්ගලයන් සහ බැතිමතුන් අතිවිශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
























