ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීමට කැපවූ නාවික විරුවන් සහ සිවිල් පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට ලක් කෙරේ
දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුකොටගෙන පසුගිය දිනවල කැලණි ගං මිටියාවතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී, පුද්ගලයන් විශාල පිරිසක් අවතැන් විය. විපතට පත් වූ ජනතාව මුදවා ගෙන ආරක්ෂක ස්ථාන කරා රැගෙන ඒම, ආහාරපාන සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම, ඇළ මාර්ග හා කානු පද්ධති පිරිසිදු කිරීම, ජල මෝටර් භාවිතා කරමින් ලිං තුළ වූ අපිරිසිදු ජලය ඉවත් කර ඔවුන්ගේ ලිං පිරිසිදු කිරීම ආදී විවිධ ක්‍රියාන්විතයන් ක්‍රියාත්මක කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් දැඩි කැපවීමෙන් සහ උද්යෝගයෙන් කටයුතු කළහ.
මෙම අභීත මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා කැපවූ නාවික පුද්ගලයින් හා සිවිල් පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 24 සහ 25 දෙදින උස්වැටකෙයියාව ක්ලබ් හවුස් අවන්හලේ පැවති අතර නාවික හමුදාධිපතිතුමන් විසින් එම කාර්යය සාර්ථක කර ගැනීමට උරදුන් සියළුම නාවික පුද්ගලයන් හා සිවිල් පුද්ගලයින් හට සිය හෘදයංගම ස්තූතිය පුදකරමින් සේවය ඇගයීමේ සහතිකයන් ප්රදානය කරන ලදී. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ආඥාපති බටහිර නාවික පෙදෙස, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් රැසක්, නාවික පුද්ගලයින් හා සිවිල් පුද්ගලයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

















