මෙරට පුහුණුව ලැබූ මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පළමු කාණ්ඩායම විසිර යයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී. මෙම පාඨමාලව සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩායම වශයෙන් කොමරොස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකායේ හා මැඩගස්කර නාවික හමුදාවේ නිලධාරීන්ගේ පුහුණු සමාප්ති උත්සවය ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහාතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් අද (27) දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
ත්රිකුණාමළය සහ මිරිස්ස මූලික කරගනිමින් සිදු කෙරුනු මෙම විශේෂ පුහුණුව යටතේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය විසින් ත්රිකුණාමළයේදීත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මිරිස්ස පුහුණු මධ්‍යස්ථානයේදීත් එම පුහුණු කටයුතු සිදු කරන ලදී. නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳවත් (Visit Board Search and Seizure - VBSS) කොමරොස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකායේ හය දෙනෙකු වෙත සහ මැඩගස්කර නාවික හමුදාවේ හය දෙනෙකු වෙත මෙහිදී පුහුණුව ලබාදීම සිදු කළ අතර, මැඩගස්කර කණ්ඩායමෙහි පරිවර්තක නිලධාරියෙකු ද මේ සදහා සහභාගි විය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ නිර්දේශය මත සිදු කෙරෙණු එම පුහුණුව, මැයි මස 03 වන දින සිට 27 වන දින දක්වා පැවැත් විය. නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයන් අවට මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීමට මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හට මෙම පුහුණුව ඉතා වැදගත් වනු ඇත.
නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීම, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් සහ ක්රමෝපායන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ලබා දුන් පුහුණුවීමෙන් ලද දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් තම හැකියාවන් විදහා දැක්වීම සඳහා ඔවුන් විසින් නාවික අභ්‍යාසයක් ද සිදු කරන ලදී. එහිදී ආරක්ෂක ලේකම්තුමා විසින්, උසස් නාවික පුහුණුවකින් පසු විසිර යන විදේශීය නාවිකයන් හට සුභපැතුම් එක් කළ අතර, සිය පුහුණුව සාර්ථකව නිම කිරීම සමබන්ධයෙන් ඔවුන්හට සහතික පත්‍ර ප්රදානය කිරීමක් ද සිදු කෙරිණි. මෙම පුහුණුව ඉතා උසස් අයුරින් සිදු කිරීම සම්බන්ධයෙන් එම රටවල් දෙක නියෝජනය කරමින් සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපතිතුමා හට සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද එහිදී කටයුතු කරන ලදී.
යුරෝපීය සංගමයේ නියෝජිතයන්ගේ තානාපති, ගරු ඩේවිඩ් ඩැලි මහතා, ශ්‍රී ලංකාවේ සීචෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස්, ගරු පිලිප් ලී ගෝල් මහතා, ශ්‍රී ලංකාවේ මැඩගස්කර් කොන්සාල්, බී.ඒ. මහීපාල මහතා, ශ්‍රී ලංකාවේ කොමරොස් රාජ්‍යයේ කොන්සාල්, සෙනුල් අබ්ධීන් මොහොමඩ් හයිරු මහතා, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් ජයවීර මහතා, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්, කේ. ගමගේ මහතා, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ වැඩසටහන් නිලධාරී, ශානක ජයසේකර මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිවෙන් රණසිංහ මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු, චීන, ඉරාන සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයන්හි ආරක්ෂක උපදේශකවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.


















