සිංගප්පූරුවේ පැවති 15 වන IISS ෂැන්ග්‍රි-ලා කතිකාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි
සිංගප්පූරුවේ ආසියානු ආරක්ෂක සමුළුවේ පැවැත්වූ යුදෝපායන් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන ආයතනයේ 15 වන ෂැන්ග්‍රි-ලා කතිකාවට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. පසුගිය 3 වන දින සිට 5 වන දින දක්වා පැවති එම වාර්ෂික ආරක්ෂක සමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකික දූත පිරිසේ ප්‍රධානියා වශයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන ලදී.
යුදෝපායන් සඳහා වූ එක්සත් රාජධානිය පදනම් කරගත් ජාත්‍යන්තර ආයතනයේ (IISS) ආසියානු කළාපීය කාර්යාලය සහ සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යංශය සමග එක්ව මෙවර මෙම කතිකාව සංවිධානය කරන ලදී. ආසියානු පැසිෆික් කළාපයේ ආරක්ෂක අමාත්‍යවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධානීන්, බුද්ධි නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන් සහ අනෙකුත් නියෝජිතයන් හට සිය ආරක්ෂාව සහ අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු මෙන්ම ඔවුන්ගේ මතවාද සහ දර්ශණයන් පිළිබදව පුළුල් වශයෙන් සාකච්ඡා කීරීමට මෙම සමුළුව ඉතා අනගි අවස්ථාවක් සළසා දෙන ලදී.
සමුළුවේ ප්‍රධාන දේශණය තායිලන්තයේ අග්‍රාමාත්‍ය, ගරු ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රයුට් චාන් ඕ චා මැතිතුමන් විසින් සිදු කරනු ලැබූ අතර, එහිදී එතුමන්ගේ විසින් රටක ආරක්ෂාව සෞභාග්‍යවත් සහ ස්ථාවරත්වයේ පදනම බව ප්‍රකාශ කරන ලදී. තවදුරටත් අදහස් දැක්වූ එතුමන් ප්‍රකාශ කර සිටියේ තිරසාර ආරක්ෂාව උදෙසා ආරක්ෂක හමුදාවන් සහ සංවර්ධන ක්‍රියාදාමයන් ඉවහල් වන බවයි.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති ගරු නිමල් වීරරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් මාණ්ඩලික, මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා මහතා, ගුවන් හමුදා අධ්යක්ෂ සැපයුම්, එයාර් වයිස් මාෂල් ඩී.එල්.එස් ඩයස් මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ කටයුතු පිළිබද ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය ද මෙම සමුළුව සඳහා සහභාගී විය.













