ජගත් සාගර දින සැමරුමට නාවික හමුදාධිපති සහභාගී වෙයි
ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය. ජගත් සාගර දිනයට සමගාමීව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ද එහිදී සංවිධානය කර තිබූ අතර, නාවික හමුදාව නියෝජනය කරමින් නාවික පුද්ගලයින් රැසක් ද ඒ සඳහා සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි මස 08 වනදා ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර "පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්" යන්න මෙවර ජගත් සාගර දිනයේ තේමාව ලෙස නම් කර ඇත. එහිදී අදහස් දැක්වූ, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, සාගර පරිසර විද්‍යාඥ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ සාගර පරිසරයේ ආරක්ෂාව පිළිබද බොහෝ දෙනෙකු අවධානය යොමු නොකරන බවත්, නමුත් සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය මෙන්ම යල මහ කන්න සදහා මෝසම් සුළං ඇතිවීම වැනි කරුණු සාගර පරිසර ආරක්ෂණය හා බැදී පවතින බවත්ය. ලෝකයේ වෙරළ කලාප දූෂක දර්ශකයේ 5 වන ස්ථානයට ශී‍්‍ර ලංකාව පත්ව තිබීම මෙහි බැරැරුම් තත්ත්වය පෙන්නුම් කරන අවස්ථාවක් බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.













