ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදිත අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාව දිය මතට දියත් කිරීමේ උත්සවය අද (10) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, වසන්තා ගුණවර්ධන මහත්මිය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
දිගින් මීටර් 105 ක් සහ පළලින් මීටර් 13.6 ක් වූ මෙම අති නවීන නෞකාවේ සමස්ථ ඇස්තමේන්තුගත නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 74 ක් පමණ වේ. ටොන් 2350 ක ධාරිතාවයකින් යුක්ත නෞකාවේ හෙලිකොප්ටරයක් ද රඳවා තබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, මෙහි නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇති අතර, නාවික සැතපුම් 4,500 ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුය.
ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් (ගගන සහ යුදෝපකරණ නිෂ්පාදන), ශ්‍රී සන්ජේ ප්‍රසාද් මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසල වීරකෝන් මහතා සහ එම මහත්මිය, ඉන්දියානු නාවික හමුදාවේ ගෝව නාවික ප්‍රදේශය භාර ධජ නිලධාරී, රියර් අද්මිරාල් පූනිත් කුමාර් මහතා හා එම මහත්මිය, ඉන්දියානු නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් අරුන් ප්‍රකාශ් මහතා සහ අද්මිරාල් සුරීෂ් මෙහ්තා මහතා, ගෝව නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතා හා එම මහත්මිය, ඉන්දීය රාජතාන්ත්‍රික නිලධාරීන්, ප්‍රභූ පුද්ගලයන්, ඉන්දියානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

















