ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ පර්ත් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි. මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු, බ්‍රයිස් හච්සන් මහතා, විදේශීය තානාපතිවරුන් ඇතුළු එම රටවල ආරක්ෂක උපදේශකවරුන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යමුනා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ඇතුළු ප්‍රභූ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන් ද එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.
උත්කර්ශවත් අයුරින් පැවති මෙම පිළිගැනීමේ උත්සවයට පැමිණි ආරාධිතයින් හට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා ඇතුළු ඕස්ට්‍රේලියානු නාවික නිලධාරීන්ගෙන් ඉමහත් පිළිගැනීමක් හිමි වූ අතර, ප්‍රනීත රාත්‍රී බෝජන සංග්‍රහයක්ද ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබිණි. නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නෞකාවේදී වර්ණවත් ලෙස හිරු අස්ථය චාරිත්‍රය පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ නිමාව සිදුවිය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, දිවයිනේ රැදී සිටින කාලය තුල ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වැඩසටහන් සහ අභ්‍යාසයන් කීපයක් සඳහා පර්ත් නෞකාවේ නැව් මුළුව සහභාගී වීමට ද නියමිතය.























