ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (6) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව, ඩෙල්ෆ් දූපතට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
එදිනම, මන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.



