පොලිස්පතිතුමා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. පොලිස්පතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව එතුමන් නාවික හමුදාධිපතිතුමා මුණ ගැසුණු පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් පොලිස්පතිතුමන් නාවික හමුදා මූලස්ථානයේදී පිළිගනු ලැබිණි. එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් පොලිස්පති ජයසුන්දර මහතා වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කළ අතර, ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.













