නාවික හමුදාව අනුරාධපුරය වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් යොදවයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දොපාර්තමේන්තුවේ පුද්ගලයන් එක්ව ජුනි මස 16 වන දින සිට 20 වන දින දක්වා අනුරාධපුරය ප්‍රධාන වැව් ආශ්‍රිතව විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් යෙදවීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති අභය වැව, නුවර වැව, කලාවැව, මහකනදරාව, විලච්චිය, නාච්චදූව, රාජාංගනය සහ තන්තිරිමලේ යන ප්‍රධාන වැව් ආශ්‍රිතව එම කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන කෙරිණි. මෙවර පොසොන් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් දිවයිනේ නන් දෙසින් බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසක් අනුරාධපුර පූජා භූමියට පැමිණ ඇති අතර, එසේ පැමිණි බැතිමතුන් විශාල වශයෙන් දිය නෑම සඳහා එම වැව් වෙත නිරන්තරයෙන් පැමිණෙන බැවින්, හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් ජීවිතාරක්ෂක කණ්ඩායම් 11 ක් එහිදී යොදවා තිබිණි. සිය ජීවිත ආරක්ෂා කිරීමට නාවික හමුදාව විසින් දක්වන ලද කැපවීමට සහ ලබා දුන් සහයෝගයට බැතිමතුන් විසින් සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාව වෙත පුද කරන ලදී.








