ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ නිලධාරීන් පිරිසක් අධිකාරියට පත් කෙරේ
2016 පළමු වන ඉදුරාම බඳවා ගැනිමට අයත් නිලධාරීන් 12 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 5 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී. නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රෝහිත පෙරේරා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක් සහ අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමාපියන්ද එම අවස්ථාව සඳහා සහභාගී වූහ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන සහ තිළිණ ප්රදානය කළ අතර, වැඩ බලන උප ලුතිනන් එස්ඩබ්ජිඑම්එස් විජේකෝන් සමස්ත විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් සම්මානනීය අසිපත හිමි දක්ෂතම සේවා ප්‍රවේශ නිලධාරියා බවට පත්විය. නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.














