සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත කරන ලදී. එම නිවාඩු නිකේතනයන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ආරාධනයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් පසුගිය 30වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. නාවික හමුදා ඉතිහාසය තුළ සටනේදී තුවාළ ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ නාවික පුද්ගලයන් වෙනුවෙන් ඉදි කරන ලද පළමු නිවාඩු නිකේතනයන් ලෙස මෙය හැදින්විය හැකිය.
යුද වාතාවරණය පවතින කාලයේදී තුවාළ ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක අවශ්‍යතාවය තේරුම්ගත් සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය මෙම කර්තව්‍ය ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. ඒ අනුව 2015 දෙසැම්බර් මස 23 වන දින එම නිවාඩු නිකේතනයන්හි වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර, රුපියල් මිලියන 21 කට අධික මුදලක් සේවා වනිතා ඒකකය මගින් ඒ සඳහා පරිත්‍යාග කෙරිණි.
නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ නවීන අංගෝපාංගයන්ගෙන් යුත් මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතනයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඉදිකර ඇති අතර විශේෂයෙන්ම ඒවා ආබාධිත රණවිරුවන් හට පහසුවෙන් භාවිතා කිරීමට හැකි වන පරිදි ස්ථාපිත කර ඇත. මේ වන විට තුවාළ ලැබූ හා ආබාධිත තත්වයට පත් වූ විශ්‍රාමික රණවිරුවන් 380 දෙනෙකු සහ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන් 95 දෙනෙකු සිටින අතර, මනරම් දියතලාව ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම නිවාඩු නිකේතන ඔවුන්හට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.






















