නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඊයේ (15) උදෑසන මඩකලපුවේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. “බ්ලූ ස්ටාර්” නැමති බහුදින ධීවර යාත්‍රාව මගින් වාලච්චේන ප්‍රදේශයෙන් මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ලද බුද්ධි තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගරික අංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ගේ බහට රැවටී ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක වන බුද්ධි තොරතුරු ජාලය ඔස්සේ කිසිවෙකුටත් නීති විරෝධී සංක්රමණයන් සිදු කිරීමට කිසිදු විටෙක ඉඩ ප්‍රස්ථාව නොලැබෙනු ඇත. .



