ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. එම පිළිගැනීමෙන් අනතුරුව අධ්යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා නාවික හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මුණගැසිණි.
ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වූ අතර, දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා මෙන්ම දෙරටේ හමුදාවන් අතර පවතින මිත්‍රත්වයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද එම අවස්ථාවට සහභාගී විය. එම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.











