“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව එළිදැක්වීම අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී
හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (25) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර මෙම සංගීත වැඩසටහන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදේශකත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අධික්ෂණය යටතේ සිදු කෙරුණි. මෙහි සංගීතය සැපයීම නාවික හමුදා සංගීත අධක්ෂ කොමදෝරු ජූඩ් පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ පෙරදිග තූර්ය වාදක අංශයේ ප්‍රධානී කොමාණ්ඩර් ශාන්ත රූපසිංහ මහතා විසින් සිදු කෙරුණි. මේ සඳහා නාවික හමුදා වාදකයින් 25 දෙනෙකු පමණ සහභාගී වූ අතර මෙම සංගීත වැඩසටහන වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ කේමදාස පදනම නියෝජනය කරමින් ගායන ශිල්පීන් 30 දෙනෙකු පමණ සහභාගී වූහ.
මෙම වැඩසටහන මහා සංගීතඥ කේමදාසයන්ගේ ආදරණීය දියණිය ගයත්‍රී කේමදාස මහත්මිය විසින් අධීක්ෂණය කරන ලදී. එමෙන්ම ප්‍රවීන සිනමා නිලි අනෝජා වීරසිංහ මැතිනියද කටහඬ, යෝගා පුහුණුවීම් ඇතුළු විවිධාකාර අංශයන්ගෙන් තම නිර්ලෝභී දායකත්වය මේ උතුම් කාර්යය සඳහා පිරිනමන ලදී.
නාවික හමුදා ගායන ශිල්පීන්ගේ සහ තූර්යවාදක කණ්ඩායමේ අද්විතීය කුසලතාවයන් හා කැපකිරීම් තුළින් ඉතාමත් කළාත්මක හා උසස් ගුණයෙන් යුක්තව මෙම වැඩසටහන පැවැත් විණි. ඒ සඳහා මහානාහිමිවරුන්, අග්‍රාමාත්‍යතුමන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධීපති, පොලිස්පති, විදේශීය තනාපතිවරුන්, සම්භාවනීය අමුත්තන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියළු පළාත් නියෝජනය වන පරිදී පාසැල් ළමුන් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එම ආශ්චර්යය සම්පන්න ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගීවූ අගමැතිතුමා ඇතුළු සියලුම දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ ඉමහත් ප්‍රශංසාවට හා ගෞරවාදරයට පත් විය.මෙම වැඩසටහන මෙහෙයවීම ප්‍රවීන රංගන ශිල්පී අනෝජා වීරසිංහ විසින් සිදු කළ අතර ඒ සඳහා ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතාද දායක විය.
සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ සංගීතමය වැඩසටහන මෙතෙක් ලොව නිර්මාණය වු පළමු බෞද්ධ කැන්ටාටාව වේ. මහනුවර යුගයේදී ජනවහර තුළින් භාවිතයට ආ පද්‍යාවලියක් ආශ්‍රියෙන් ජේ.ඊ සේදරමන් විසින් සංස්කරණය කළ “බලියාග විචාරය” කෘතියේ ඇති අප භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම අළලා රචිත කවි උපයෝගී කර ගනිමීන් නිර්මාණය කර ඇති මෙම කැන්ටාටාව 2007 වෙසක් පොහොය නිමිත්තෙන් ඉන්දීයාවේ බුද්ධගායාවේ ශ්‍රි මහා බෝධීන් වහන්සේ ඉදීරිපිට දී ගයනා කරන ලද අතර, 2008 ඔක්තෝබර් මස 27 වන දින කේමදාස පදනමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එතුමන්ගේ අවමගුල් උත්සවයේදී අවසන් වරට ගයනා කොට ඇත.





















