ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ආධුනික ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කදවුරක් වැලිසර දී පවත්වයි
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ආධුනික ගොල්ෆ් ප්‍රවර්ධන අනු කමිටුව විසින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ඔවුන් හට ජාත්‍යන්තර සහ වෘත්තීය මට්ටමේ පුහුණුවීමක් ලබා දීම සඳහා පුහුණු කදවුරක් ක්‍රියාත්මක කරන ලදී. දින 4 ක් පුරා පැවති මෙම පුහුණු කදවුරේ පළමු අධියර පසුගිය 27 සහ 28 යන දෙදින ඉන්දියාවේ දක්ෂ ගොල්ෆ් පුහුණුකරුවෙකු වන බැම්බි රන්ධාවා මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන පිහිටි වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි අවසන් අධියර ඊයේ (29) සහ අද (30) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ “ඇක්වා” ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ රාජකීය ගොල්ෆ් සංගමය, නුවරඑළිය ගොල්ෆ් සංගමය සහ වික්ටෝරියා ගොල්ෆ් සංගමය නියෝජනය කරමින් දේශීය ගොල්ෆ් පුහුණුකරුවන් රැසක් ද මෙම පුහුණු සැසිවාරය සඳහා සහභාගී වී සිටියහ. එහිදී බැම්බි රන්ධාවා මහතා විසින් ගොල්ෆ් ක්‍රීඩාව පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන් හට ඉතා වටිනා දැනුම් සම්භාරක් ලබා දෙන ලදී. මෙම මහඟු අවස්ථාවට නාවික නිලධාරීන්ගේ ළමා සංගමයේ සභාපති සත්‍යජිත් විජේගුණරත්න මහතා ද සහභාගී විය.
මෙවැනි පුහුණු කදවුරු පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩක ක්රීඩිකාවන්හට අවශ්‍ය දැනුම සහ තාක්ෂණය මනා ලෙස ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තවද ,ඒ තුළින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ද හැකි වනු ඇත. මෙම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස ඇමතූ රන්ධාවා මහතා ප්‍රකාශ කර සිටියේ අනාගතයේ ශ්‍රී ලංකාවේ දක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට අවශ්‍ය සියළුම පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මෙම “ඇක්වා” ගොල්ෆ් ක්‍රීඩාංගනය සතුව පවතින බවත් ඉදිරියේදී එවන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවනු දැකීම ඔහුගේ ඒකායන අරමුණ බවත්ය.






