සම්පත්නුවර ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් වැලිඔය, සම්පත්නුවර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සම්පත්නුවර මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (6) එම විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ එය විවෘත කිරීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වකුගඩු ආශ්රිත රෝගයන් ඉතා බහුලව පවතින මෙවැනි ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 22 ක ප්‍රමාණයක් මේ වන විට ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව වැලිඔය, සම්පත්නුවර මහා විද්‍යාලයේ විවෘත කෙරුණු මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ඉගනුම ලබන දරු දැරියන් 525 දෙනෙකුට සහ ගුරුවරුවන් 35 දෙනෙකුහට මෙන්ම ප්‍රදේශයේ වෙසෙන පවුල් 540 ක් සඳහා ද පිරිසිදු පානිය ජලය ලබා දිමට අපේක්ෂා කෙරේ.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් අඩු පිරිවැයක් දරමින් ඉතා උසස් ලෙස නිෂ්පාදනය කරනු ලබන මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ඉදිරියේදීත් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පාසල් දරු දැරියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතා සඳහා ලබා දිමට කටයුතු කරගෙන යනු ලබයි. තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කර වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි පාසල් දරු දැරියන් සහ ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතා සඳහා ලබා දිමට කටයුතු කර ඇත. එමෙන්ම ඉදිරියේදී සුර්ය බල ශක්තිය උපයෝගී කර ගනිමින් ක්‍රියා කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර නිශ්පාදනය කර ලබා දිමට ද කටයුතු කරමින් පවතී. ගරුතර මහා සංඝරත්නය, උතුරුමැද නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, වැලිඔය පොලිස් ස්ථානාධිපතිතුමන්, සම්පත්නුවර මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුභවතුන්, දුවා දරුවන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.














