දියකාවා යුද මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අද (20) ත්‍රිකුණාමලය කෝකිලායි මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය. 7 වෙනි වරටත් සාර්ථක ලෙස පැවැත්වූ මෙම අභ්‍යාසය සඳහා බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ එක්සත් රාජධානිය යන රටවල් නියෝජනය කරමින් විදේශීය ආරක්ෂක හමුදා පුද්ගලයින් 58 දෙනෙකු ද ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කොමාණ්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් ඇතුලත්ව පාබල හමුදා සෙබලුන් 2500 ක්, නාවික හමුදා පුද්ගලයින් 638 ක් සහ ගුවන් හමුදා සෙබලුන් 506 ක් ඇතුලත් වනසේ විශාල භට පිරිසක් සහභාගී වී සිටියහ.
මුර සංචාරයන්, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් හා නිරීක්ෂණ, වැටලීම්, සැගව සිට පහරදීම්, මුදවාගැනීම්, අවහිර කිරීම්, සැඟවී වෙඩිතැබීම්, නාගරික සටන් සහ ආපදා සහන ආදී ක්‍රියාකාරකම් රැසක් මෙවර මෙම අභ්‍යාසය මගින් ක්‍රියාවට නැංවිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ යුද නෞකාවන්, වේග ප්‍රහාරක යාත්‍රා සහ කුඩා යාත්‍රා රැසක් ද මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා යොදා ගන්නා ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ ශක්තිය මනාව විදහා දක්වමින් සිය අවසන් ප්‍රහාරය එල්ල කර දියකාවා යුද අභ්‍යාසය ඉතා සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, විදේශීය හමුදාවන් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවසන් මෙහෙයුම දැකගැනීම සඳහා සහභාගී වී සිටියහ.
























