ජපාන නාවික හමුදා ‘කෂීමා’ නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි  
දින 5 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන නාවික හමුදාවේ “කෂීමා”, “සෙටොයුකි” සහ “අසගිරි” නෞකාවන්හි ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (9) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ‘කෂීමා’ නෞකාවේදී සංවිධානය කර තිබිණි. මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු කෙනිචි සුගනුම් මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, බටහිර විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේනද්ර වෑත්තෑව මහතා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජපාන තානාපති කාර්යාල නිලධාරීන් කීහිපදෙනෙකු ද සහභාගී විය.
මෙහිදී, ජපාන නාවික හමුදා පුහුණු ඒකකයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් හිඩෙටොෂි ඉවසාකි මහතා සහ නෞකා ත්‍රිත්වයේ අණදෙන නිලධාරීන් විසින්, පැමිණි ආරාධිතයින් විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වෙමින් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ආරාධිතයන් වෙනුවෙන් එම නෞකාවේදී ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක්ද පිළිගැන්විණි. ඉන් අනතුරුව නෞකාවන්හි පුහුණු වන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමන් විසින් විශේෂ දේශනයක්ද පැවැත් විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.















