උතුරු නාවික විධානය මගින් ප්‍රජා සංවර්ධන සහ සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය අළුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ලංකා රාජකීය නාවික හමුදාව පැවති කාල වකවානුවේ සිට පැවත එනු ලබන යාපනය අර්ධද්වීපයේ ඇති පැරණිතම නාවික හමුදා කදවුර ලෙස කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය හදුනා දිය හැකි අතර එම ආයතනයේ 60 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ සත්කාරක සේවාවන්හි මූලික පියවර වශයෙන් එම රෝහල් පරිශ්‍රය අළුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂක, වෛද්‍ය කේ නාතකුමාරන් සහ කරෙයිනගර් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, වෛද්‍ය මධුර ඩයස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සත්කාර්යය සිදු කෙරිණි.
තවද, උතුරු නාවික විධානයේ මහජන සෞඛ්‍ය ඒකකය විසින් යාපනය කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී නගුලේෂ්වරම් හින්දු කෝවිල අවට පිරිසිදු කිරීමේ කටයුතු සහ කන්කසන්තුරය වරාය පරිශ්‍රයේදී ජල භීතිකා රෝගය පැතිරයාම වැළැක්වීමේ පියවරක් වශයෙන් සුනඛයන් එන්නත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. 2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාවෙන් ජල භීතිකා රෝගය සහමුලින් තුරන් කිරීම මෙහි මූලික පරමාර්ථය ලෙස දක්වා ඇත.








