27 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (21) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් කාඩ්මට් නෞකාවේදී පවත්වන ලදී.
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කොමදෝරු සුජීව පෙරේරා මහතා, උතුරු මැද නාවික පෙදෙස භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු උපුල් ද සිල්වා මහතා, අධ්යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු කලන ජිනදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ඉන්දීය නියෝජිතයින් පිරිසට ධජ නිලධාරි තමිල්නාඩු සහ පුඩුචේරී නාවික ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මීරාල් ආලොක් බාත්නගර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම සමුළුවෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමයි. 27 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී; අන්තර් සහයෝගීතාවය තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






