නාවික හමුදා විරුවන් වීර පදක්කම් වලින් පිදුම් ලබයි
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් ප්රදානය කිරීම අතිගරු ජනාධිපති, සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩ සටහන ආරම්භ විය. මෙහිදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ‘පරම වීර විභූෂණය’, ‘වීරවික්රම විභූෂණය’, ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කම’ ප්රදානය කරන ලදී. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙනුවෙන් නාවික පුද්ගලයන් තිදෙනෙක් (3) ‘රණවික්‍රම පදක්කම’ සහ තවත් 141 දෙනෙක් ‘රණශූර’ පදක්කමෙන් පිදුම් ලැබූහ.
‘පරම වීර විභූෂණය’ සතුරා ඉදිරීයේ දිවි පරදුවට තබමින් තම මාතෘ භූමිය රැක ගැනීම වෙනුවෙන් වීර වික්‍රමයන් දැක්වූ තනි පුද්ගලයන්ට හිමිවන ජීවිතයේ හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයයි. ‘වීරවික්රම විභූෂණය’ හමුදාමය ක්‍රියාකරකමක් වෙනුවෙන් සතුරා හමුවේ සිය කැමැත්තෙන් ප්‍රදර්ශනය කරනු ලබන වීරත්වය සහ කැපී පෙනෙන නිර්භීතකම උදෙසා ප්රදානය කරනු ලබයි. එමෙන්ම තනිව හෝ තවත් පිරිසක් සමග ඒකාබද්ධව ස්වකීය කැමැත්තෙන් සතුරා ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලබන නිර්භීත ක්‍රියාවක් සඳහා ‘රණවික්‍රම පදක්කම’ ප්රදානය කරනු ලබන අතර, සතුරා අභිමුඛයේ ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ඨ වූ ක්‍රියාකාරකම් සඳහා ‘රණශූර පදක්කම’ ප්රදානය ද කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සාමාජිකයන් විශාල පිරිසක් සහ සටනේදී මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.

















