“දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ කොළඹ වරායට පැමිණේ
පුහුණු සංචාරයක් සඳහා පසුගිය 23 වන දින මාලදිවයිනේ මාලේ වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථකව සිය සංචාරය නිමා කරමින් අද (30) කොළඹ වරායට ළගා විය.
අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු, මාලිදිවයින් හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් එක්ව 2016 ඔක්තෝබර් මස 26 වන දින සිට 29 වන දින දක්වා දින 4 ක් මාලේ මුහුදු තීරයේදී 13 වන වරටත් පැවැත් වූ “දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා පුහුණු අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වූ අතර, එහිදී නාවික නිරීක්ෂණ හා මුදවා ගැනීම්, මානුෂීය ආධාර හා අපදා සහන, සමුද්‍ර දූෂණ නිවාරණය සහ මුහුදු මංකොල්ලකෑම් වැළැක්වීම් ආදී පුහුණු ක්‍රියාකාරකම් වල නිරත විය.
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් “සමුද්රපවාක්” හා “ආදේශ්” නෞකා ද්විත්වයත් “ඩෝනියර්” ගුවන් යානය හා “චේටාක්” හෙලිකොප්ටර් යානයත්, මාලිදිවයින් වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ “හුරවි” හා “ශහීඩ් අලි” යන නෞකා ද්විත්වයත් “කුරන්ගි” හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් “සාගර” නෞකාවත්, එහි අණදෙන නිලධාරී කපිතාන් අනුර දනපාල මහතා ඇතුළු නැව් මුළුව “දෝස්ති XIII” පුහුණු අභ්‍යාසය සඳහා එක් විය.




















