ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු අධිකාරියට පත් කෙරේ
54 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 28 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාවකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද දින අධිකාරියට පත් කළ මව්බිමේ අනාගත මුරදේවතාවුන් වන නාවික නිලධාරීන් වෙත අප මාතෘ භූමිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇති බවයි. එමෙන්ම මෙම නිලධාරීන් සිය විනය, නායකත්වය, හැකියාව, වෘත්තීමය දක්ෂතාවය සහ අනෙකුත් දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම තුළින් විශිෂ්ඨ නිලධාරියෙකු ලෙස අනාගත අභියෝගයන්ට මුහුණදීමට සූදානම් විය යුතු බවද ඔහු ප්‍රකාශ කරන ලදි. නාවික හමුදාවට සහ එහි නාවික පුද්ගලයන්ට ආවේනික වූ උරුමයන් සහ අතීත සාම්ප්‍රදායන් පවතින බවත් ඒවා ආරක්ෂා කරමින් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනුගමනය කරමින් සිය නාවික දිවිය සාර්ථක කර ගැනීමට පවසමින්, මෙම තරුණ නිලධාරීන් වෙත එතුමන් සුභාසිංෂණ එක්කරන ලදි.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන්, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නායියා මහතා, නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රෝහිත පෙරේරා මහතා, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් නාවික සම්ප්‍රදායානුකූලව පැවති අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන සහ තිළිණ ප්‍රධානය කළ අතර, මධ්‍ය නිලධාරී එම්පීඑච් පෙරේරා සම්මානනීය අසිපත හිමි දක්ෂතම මධ්‍ය නිලධාරියා බවට පත්විය. මධ්‍ය නිලධාරී එස්ජේඑම්ටීඑම් සමරකෝන් සමස්ත සහ වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා ලෙස සම්මාන හිමි කරගත් අතර, මධ්‍ය නිලධාරී ඩබ්ඒජේ කෞෂල්‍ය දක්ෂතම ක්‍රීඩකයා සහ නාවික විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා බවට පත් විය. හොඳම ඉලක්කරු වශයෙන් මධ්‍ය නිලධාරී කේඒඩීකේඩී කොඩිකාර විසින් එහිදී සම්මාන ලබා ගන්නා ලදි.
නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.




































