තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ සහ ගලෙන්බිදුනුවැව කොකාවැව ගම්මානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි.
ඒ අනුව වවුනියාව පොලිස් ස්ථානයේ ස්ථාපනය කරන ලද ජල පිරිහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගී විය. තවද, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපතිතුමන්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ ව්‍යාපෘති අධ්යක්ෂ, අසේල ඉද්දවෙල මහතා, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, වව්නියාව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ප්‍රභූ පුද්ගලයන් රැසක් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙමගින් වව්නියාව පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් 500 දෙනෙකුට සහ ප්‍රදේශයේ ජනතාවටත් කොකාවැව ප්‍රදේශයේ පවුල් 490 කටත් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන ලදී. එම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 54 ක් වකුගඩු රෝග අර්බුදය බහුලව පවතින ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
















