නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
2016 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) පැවැත්විණි. මෙම අවස්ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුණා විජේගුණරත්න මහත්මිය ද සහභාගී වූවාය.
නාවික හමුදාව විසින් අඛණ්ඩව පස්වන වරටත් සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන, ආයතන සහ නෞකා වලට අයත් ධජයන් 80කට සෙත් පැතීම එහිදී සිදු කරන ලදී. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම උත්සවය, අනුරාධපුර අටමස්ථාන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. තවද, ධජ ආශිර්වාද පූජාවට සමගාමීව නාවික හමුදා බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජා පිංකමක්ද අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී පැවැත්විණි.































