ගාලු කථිකාව 7 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හත්වන වසරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 41 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක දෙස් විදෙස් නියෝජිතයින් හා විදේශ නාවික සහ ආරක්ෂක සේවා ප්‍රධානීන් 7 දෙනෙකු ඇතුළු විදෙස් නියෝජිතයින් 130 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී සිටියි.
සමුළුවේ පළමු දින සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ අතර, එම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පළමු දින සැසිය සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ කටයුතු අමාත්‍ය, මංගල සමරවීර මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා, තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් මෙන්ම රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.
මෙම සමුළුවේ පිළිගැනීමේ කථාව සිදුකළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා පැමිණි සිටි සියලු දෙනා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා බවද, හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන් හට සිය ගෞරවනීය ස්තූතිය පළ කරන බවද සඳහන් කර සිටියේය. සමුළුව සාර්ථකව සංවිධානය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සිදුකළ මග පෙන්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන බවද එතුමා එහිදී සඳහන් කරන ලදී.
තවදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ වර්තමානයේ බොහෝ පාර්ශවකරුවන් අනෝන්‍ය වශයෙන් සබදතා ගොඩනගා ගැනීම පිළිබදව උනන්දුවක් දක්වන බැවින් ගාලු කතිකාව ඒ සඳහා මනා තෝතැන්නක් වී ඇති බවයි. එමෙන්ම යහපත් සහයෝගීතාවයක් ඇති කර ගැනීමට නම් අප අපගේ පාර්ශවයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත්, ඒ තුළින් කළාපීය ස්ථායිතාවය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
එමෙන්ම, ශක්තිමත් සාගරික සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් කළාපීය සාමය වර්ධනය කර ගත හැකි බවත්, සාගරික විෂය ක්ෂේත්රයේ රදා පැවැත්ම, වෙළදාම සහ බළශක්තිය යන කරුණු ඔස්සේ ඉදිරියටත් වර්ධනය වනු ඇති බැව් විශ්වාස කරන බවටත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ඉන් අනතුරුව සම්මන්ත්‍රණය ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මහතා සිය දේශණයේදී සඳහන් කර සිටියේ ගෝලීය මූලෝපායික සමතුලිතතාවය වර්තමානයේදී අන් කවර කාලයකටත් වඩා සාගරය දෙසට කේන්ද්‍රගත වී ඇති මෙවන් කාලයක ඉන්දියන් සාගර කළාපය ලෝක ආර්ථික ස්ථායිතාවය කෙරෙහි බලපෑම් කළ හැකි කළාපයක් බවට පත් වී ඇති බවයි. එමෙන්ම පසුගිය දශක කීපය තුළ ආසියාව දෙසට ගෝලීය ආර්ථිකය යොමු වීමත් සමගම ඉන්දියන් සාගර කළාපයේ වැදගත්කම තව දුරටත් ඉස්මතු වී ඇති අතර, මෙම සාගර කළාපය හරහා සිදු වූ ලෝක වෙළදාමේ සහ නෞකා ගමනා ගමනයේ සීග්‍ර දියුණුවක් සහ වර්ධනයක් සිදු වී ඇත. එමෙන්ම එම කරුණු පදනම් කර ගනිමින් මෙම සාගර කළාපය දෙසට කළාපීය බලවතුන්ගේ අවධානය යොමු වී අති මෙවන් අවධියක සාගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් මගින් ගෝලීය වශයෙන් ද බලපෑමක් ඇති කළ හැකි බැව් එතුමා සිය දේශණය මගින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
ඒ අනුව, අද (28) දින පැවැති සම්මන්ත්‍රණයේදී එයට සහභාගී වූ විදේශ නාවික සහ ආරක්ෂක සේවා නිලධාරීන් විසින් මාතෘකාගත කරුණු සම්බන්ධයෙන් ඉතා වටිනා අදහස් රැගත් දේශණ සහ ඉදිරිපත් කිරීම් රැසක් ද සිදු කරන ලදී. එමගින් සාගරික ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබුණු අතර, ඉතා සාර්ථක ලෙස ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ පළමු දින නිමාව මෙසේ සනිටුහන් විය.


























