නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) උඩප්පුව හා සින්නපාඩු අතර මුහුදු පුදේශයේ දී සහ උච්චමුණේයි මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 5 ක්, තහනම් දැල් 3 ක්, ඔක්සිජන් සිලින්ඩර් 14 ක්, කිමිදිම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 7 ක් සහ පාවරල් යුගල් 3 ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, එදිනම එම විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ. එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක් සහ තහනම් දැලක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.





