එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.
එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් එතුමා නැගෙනහිර නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව විධාන ආඥාපතිතුමන් විසින් නැගෙනහිර නාවික විධානයේ මෙහෙයුම් ක්‍රියාකාරම් සහ දැක්ම පිළිබදව පැමිණි පිරිස දැනුවත් කිරීම සිදු කෙරිණි.
මෙම සංචාරය අතරතුරදී අද්මිරාල් හැරී බී. හැරිස් මහතා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එහි අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව සමග සුහද කථාබහක ද එතුමා නිරත විය. ඉන් අනතුරුව ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී, මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ සෙබළුන් විසින් ඉදිරිපත් කරන ලද ආපදා සහන සහ මුහුද යට ඇති බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙන්ම කුඩා යාත්‍රා මගින් ඉදිරිපත් කරන ලද මෙහෙයුම් සංදර්ශණයක් නැරඹීමට ද එතුමා ඇතුළු පිරිස එක්විය. එම අවස්ථාවන් සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලයේ තානාපති අතිගරු, අතුල් කෙෂප් මහතා, ඇමරිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු, ප්‍රසාද් කාරියවසම් මහතා, විදේශීය ප්‍රභූ පුද්ගලයින්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ඇමරිකානු නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි


























