ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය.
එහිදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් එතුමා නැගෙනහිර නාවික විධානය මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව විධාන ආඥාපතිතුමන් විසින් නැගෙනහිර නාවික විධානයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ දැක්ම පිළිබදව පැමිණි පිරිස දැනුවත් කිරීම සිදු කෙරිණි. ඉන් අනතුරුව එතුමා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිදු කෙරෙන නාවික පුහුණු වීම් කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර, එහිදී සිදු කරන උසස් නාවික පුහුණුවීම් සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රශංසාව ද නාවික හමුදාධිපතිතුමා වෙත පිරිනමන ලදී.
එමෙන්ම, ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් පුහුණු කිරීමේ දැවැන්ත මෙහෙවරක යෙදෙන අතර, මේ වන විට ඉන්දියානු නාවික පුහුණු පාසල්හි ශ්‍රී ලංකා නාවික නිලධාරීන් 123 දෙනෙකු සහ නාවිකයන් 148 දෙනෙකු විවිධ ක්ෂේත්රයන්හි පුහුණුවීම් කරනු ලබයි. මෙම මහඟු කර්තව්‍ය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා ඉන්දීය නාවික හමුදාධිපතිතුමා වෙත සිය හෘදයාංගම කෘතවේදීත්වය පිරිණමන ලදී.
ඉන් අනතුරුව, එතුමන් ඇතුළු පිරිස ත්‍රිකුණාමලය වරායේ සංචාරයක ද නිරත විය. තවද, ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය නැරඹීමට සහ කෝනේෂ්වරම් කෝවිල වැද පුදා ගැනීම සඳහා ද එතුමා ඇතුළු පිරිස සහභාගී වූහ. මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා, ඉන්දියානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ. තවද, ඉන්දීය නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සිදු කළ සංචාරයට ගෞරවයක් වශයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් නාවික සම්ප්‍රධායානුකූලව එතුමා වෙනුවෙන් ආරාධිත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විධාන මූළස්ථාන නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


































