නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නව විවෘත කිරීම් කිහිපයක් එතුමන් අතින් සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ගිලන් හලේ නවීන පහසුකම් වලින් යුක්තව අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම, උත්තර ආයතනයේ ජැටියේ අළුතින් ඉදිකර දීර්ඝ කරන ලද ජැටි කොටස විවෘත කිරීම සහ නිලධාරී නිවස්නයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම එතුමන්ගේ සුරතින් සිදු විය. ඉන් අනතුරුව එම කාර්යයන් සඳහා දායකත්වය ලබා දුන් සියළුම නාවික පුද්ගලයින් ඇමතූ එතුමා උසස් අයුරින් එම ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් සිය හෘදයංගම ස්තුතිය සහ ප්‍රශංසාව ඔවුන් හට පිරිනමන ලදී.
ඉන් අනතුරුව එතුමා එදින සන්ධ්‍යාවේ නාගදීප පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද, අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහානාහිමි අනුස්මරණ ගොඩනැගිල්ලේ තෙවන මහල සඝසතු කොට පූජා කරන ලදී. එම තෙමහල් ගොඩනැගිල්ල බුද්ධ ශාසන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් ලබා දුන් මූල්‍යමය දායකත්වය මත සහ නාගදීප විහාරස්ථානය වන්දනා මාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ධන පරිත්‍යාගය මත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කොට ඇත.
එම විහාරස්ථානයේ පිහිටුවන ලද ධාතු මන්දිරය විවෘත කොට එහි ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කටයුත්ත සඳහා මෙන්ම එදින පැවති බෝධි පූජාමය පිංකම සඳහා ද නාවික හමුදාධිපතිතුමා සහභාගී විය. එහිදී, ගරුතර මහා සංඝරත්ණය විසින් නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද එක් කරන ලදී. මෙම අවස්ථාවන් සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් රැසක් ද එක් වී සිටියහ.


























