සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපුජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ උදාරතර සංකල්පයට අනුව දෙස් විදෙස් ධන පරිත්‍යාගශිලීන්ගේ ආධාරයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වයෙන්, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි සහ නාවික තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වු ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අද (14) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය නිම කළ දරුවන් හට ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් ඇරඹි මෙම මාධ්‍යස්ථානය පරිඝණක විද්‍යාගාරයක්, තාක්ෂණික පුහුණු වැඩපොලක්, පුස්තකාලයක් ඇතුලු නවීන විද්‍යාලයකට අවැසි සියල්ලෙන් සම්පුර්ණ වන අතර, නේවාසික පුහුණුව සඳහා අංග සම්පුර්ණ නේවාසිකාගාර දැනට ඉදිකර ඇත. දෙස් විදෙස් නම පතළ හුණුපිටිය ජිනරතන කාර්මික විද්‍යාලයට අනුබද්ධව වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ජාතික වෘත්තීය සුදුසුකම් ලබා දෙන ආයතනයක් වශයෙන් ලියාපදිංචි කිරිමට නියමිත මෙම ආයතනයේ පහත සඳහන් පාඨමාලාවන් හැදැරීමේ හැකියාව ඇත. මෙහි පාඨමාලා හදාරන සිසුන් හට නාවික හමුදා විශ්‍රමික වෘත්තීය නාවිකයන් උපදේශකයන් වශයෙන් සිය දැනුම ලබා දෙනු ලැබේ.
පරිඝණක තාක්ෂණය, වායු සමීකරණ සහ ශීතකරණ කාර්මීක ශිල්පය, සුර්ය බලශක්ති උපකරණ අලුත්වැඩියාව, ජංගම දුරකථන අලුත්වැඩියාව, විදුලි කාර්මික ශිල්පය, පෑස්සුම් සහ වෑද්දුම් ශිල්පය, ෆයිබර් තාක්ෂණ ශිල්පය, මෝටර් රථ කාර්මික ශිල්පය සහ මෝටර් බෝට්ටු එන්ජීන් අලුත්වැඩියාව.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්ණය ප්රමුඛ ජපන් පූජක දුත පිරිස, ගරු ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතුතිමා, පාර්ලිමේන්තු ආමාත්‍යවරුන්, දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා මැතිතුමා, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් දායක භවතුන් රැසක් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීය.













