දෙවන අධි තාක්ෂණික නෞකාව නැවත දියත් මඟට ගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම පසු ගිය 15 වෙනිදා ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී සිදු කෙරුණු අතර, එම නෞකාව නැවත දියත් මඟට ගැනිම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිදු කෙරුණි. මේ සමගින් ඉතිරි වැඩ කටයුතු ආරම්භ කිරිමට නියමිත මෙම නෞකාව ශ්‍රි ලංකා නාවික නෞකා ‘සිඳුරල’ වශයෙන් නම් කිරිමට නියමිතය. නවීණතම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාව ගෝවා නැව් සමාගම නිෂ්පාදනය කළ 100 වන නෞකාව වශයෙන් සටහන් වනු ඇත.
මෙහිදි, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති තුමන් වෙනුවෙන් අදහස් දැක්වු රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සිය හෘදයාංගම ස්තූතිය එම නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලය වෙත පිරිනමන ලදි. මේ අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා, අධ්යක්ෂ නාවික දේශිය මිලදී ගැනිම්, කොමදෝරු ධර්මප්‍රිය විජේතුංග මහතා, අධ්යක්ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු කපිල ද සිල්වා මහතා සහ කොමාණ්ඩර් මධුශංක මුදුන්පිටගේ මහතා සහභාගි විය.





