කච්චතිව් දූපතේ නව දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්රදානය කෙරේ
ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් තම ආගමික මුදුන් මල් කඩක් සේ සලකන කච්චතිව් දූපතේ නව ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (23) යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්රදානය කරන ලදී.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංහිදියාවේ නව පිටුවක් සනිටුහන් කරමින් සිදුකළ මෙම ඓතිහාසික අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා, යාපනය රදගුරු, අණුනායක, ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමා, ඩෙල්ෆ්ට් මීසම භාර ඒජේ ඇන්තනි ජෙයරන්ජන් පියතුමා, යාපනය රදගුරු පදවියේ එඩේරාණන් වූ අති උතුම් ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥාණප්රයාසම් පියතුමා, යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, ශ්‍රී ඒ. නටරාජන් මහතා, යාපනය දිසාපති, එන් වේදනායගම් මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ. තවද, ඉන්දියානු බැතිමතුන් 82 දෙනෙකු සහ ශ්‍රී ලාංකික බැතිමතුන් 100 දෙනෙකු පමණ ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
ඩෙල්ෆ්ට් දූපතේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරින් හුදෙකලාව පිහිටි මෙම කුඩා දිවයින වර්ග කිලෝමීටර් 1.15 පමණ සමන්විත ජන ශූන්‍ය දූපතකි. ධීවර රැකියාවේ යෙදෙන ධීවර ප්‍රජාව විසින් මෙම දිවයින දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීමටත් දැල් ආම්පන්න පිළිසකර කර ගැනීමටත් භාවිතා කර ඇති අතර, එහිදී ඔවුන්ට වන්දනා මාන කිරීම සඳහා ඉතාමත් කුඩාවට ඉදිකළ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත. සෑම වර්ෂයකම පෙබරවාරි මස පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වෙති.
ඒ අනුව, පසුගිය වසරේ පෙබරවාරි මස 21 වන දින පැවති කච්චතිව් මංගල්‍යය අවසන් වීමත් සමගම යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥාණප්‍රකාශම් පියතුමන් විසින් 2017 වසරේ පැවැත්වීමට නියමිත දේව මංගල්‍යයට ප්‍රථම, පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී. ඒ සඳහා නාවික හමුදා සහාය ලබාදෙන මෙන් සිදුකළ ඉල්ලීම මත නාවික හමුදාධිපතිතුමා විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට සිය කැමැත්ත ප්‍රකාශ කළහ. ඉන් අනතුරුව උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය මත කච්චතිව් දූපතේ නව දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අනුව මෙම දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය 2016 මැයි මස 09 වන දින යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමින් යාපනය රදගුරු අනුනායක ජෙබරත්නම් පියතුමන් ප්‍රකාශ කර සිටියේ, මෙම දේවස්ථානය සියළු ජාතීන් හට වන්දනාමාන කළ හැකි සංහිදියාවේ දේවස්ථානය ලෙස හැදින්විය හැකි බවයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.















