නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) – 2016 උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජශීලීත්වය සහ උසස් විනෝදාශ්වාදය විදහා දක්වන නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) තුන් වන වරටත් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරී නිවස්නයේදී ඊයේ (23) ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
සාගරික ආරක්ෂාව මෙන්ම මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු “2016 නේවි බෝල්” නර්තන ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ආරාධනය පරිදි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. තවද, එහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සහභාගී වූහ.
මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා සාගරික ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවදියෙන් සිටින නාවික හමුදාව සිය සාම්ප්‍රදායික චාරිත්‍රයන් වලට ගරු කිරීමත්, විනෝදකාමී, සෞන්දර්යමත් ගති පැවතුම් සහ මහත්මා ගුණයෙන් යුත් පිරිසක් බව විදහා දැක්වීමත් මෙවැනි වැඩසටහන් මගින් අපේක්ෂා කරනු ලබයි. එම ගමන් මග ඔස්සේ යමින් මෙවරත් නාවික හමුදා නර්තන ප්‍රසංගය “නැව් බඳ මත රඟමු” (Rock on Deck) යන තේමාව යටතේ නීල වර්ණ ඇඳුමින් සැරසුණු නිලධාරීන් සහ නිලධාරිනියන් හට මියුරු නාදයන් හමුවේ නර්තනයේ යෙදීමට ඉඩ සලසා තිබුණි.
චාරිත්‍රානුකූලව සිදුකරන ලද හිරු අස්ථවිය එම සන්ධ්‍යාව තවත් වර්ණවත් කළ අතර, එයට අනුකූලව ක්‍රියාවට නැංවුණු ධජ ස්ථානගත කිරීම නර්තන ප්‍රසංගයට සාම්ප්‍රදායික බවක් එක් කරන ලදී. නාවික හමුදා වාද්‍ය වෘන්දයේ හා ආරාධිත වාද්‍ය වෘන්දයන්ගේ මියුරු සංගීතයෙන් සහ නාවික හමුදා නර්තන කණ්ඩායමේ සුන්දර නර්තනයන්ගෙන් හැඩ ගැන්වුණු එම සන්ධ්‍යාවේදී 2016 නාවික රැජිණිය වශයෙන් රියර් අද්මිරාල් (විශ්‍රාමික) රෝහන පෙරේරා මහතාගේ දියණිය වන කාවින්ද්‍යා පෙරේරා අභිෂේක ලැබීය. නාවික හමුදාධිපතිතුමන්ගේ බිරිඳ යමුණා විජේගුණරත්න මහත්මියගේ අතින් කිරුළු පැළඳි ඇයට ජය සංකේතාත්මක සළුව පළඳවන ලද්දේ ආරක්ෂක ලේකම්තුමන්ගේ සුරතිනි. ඒ අනුව ඉතා සිත්ගන්නා සන්ධ්‍යාවක් වූ නාවික නර්ථන ප්‍රසංගය 2016, ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.



























