නාවික හමුදාව විසින් වායු බල යාත්‍රාවක් (Air Boat) නිපදවයි
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින්, හදිසි ආපදා තත්ත්වයකදී (ගංවතුර) මුහුණදිම සඳහා නාවික හමුදාව සවිමත් කිරිමේ අටියෙන් වායු බල යාත්‍රාවක් නිෂ්පාදනය කොට ඇත. පසු ගිය (20) වන දා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ දී වැලිසර නාවික කඳවුරේ පිහිටි කජුගහකුඹුර වැවේ එම යාත්‍රාව දියත් කිරිම සිදු කරන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයට පත්වීමෙන් පසු, එදා යුධ සමයේ අමිල සේවයක් සිදු කළ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා යොමු කිරිමේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිර්මාණයද හැඳින් විය හැකිය.
මෙම යාත්‍රාව නිපදවිම සඳහා නාවික හමුදාවට රුපියල් මිලියන 1.7 ක් වැනි අඩු පිරිවැයක් වැයවු අතර, සාමාන්‍ය වෙළදපොලේ මෙහි වටිනාකම රුපියල් මිලියන 12.5 ක් පමණ වේ. වායු බල යාත්‍රාවේ විශේෂත්වය වනුයේ ප්‍රධාන යන්ත්‍රය සහ එහි අවරපෙත්ත (Propeller) ජලයෙන් ඉහළ මට්ටමේ පිහිටා තිබිම හේතුවෙන් ජලයෙන් යට වු ප්‍රදේශ වල විපතට පත්වුවන් බේරා ගැනීම සඳහා යෙදවිමේදී යාත්‍රාව ආපදාවට ලක් නොවී අඛණ්ඩව එම කටයුත්තේ නියැලීමට හැකියාව පැවතීමයි. තවද මෙම යාත්‍රාව නිපදවීම සඳහා මුලික සැලැස්ම සහ අවශ්‍ය දත්තයන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ විශේෂඥ දැනුමැති නිලධාරීයෙකු වන කොමදෝරු ප්‍රියන්ත පෙරේරා නිලධාරිතුමා විසින් ලබාදෙන ලදි.








