66 වන නාවික දින සැමරුම් අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ඊයේ (30) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණයක් වශයෙන් පැවති එම වැඩසටහන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. පිංකම සඳහා සහභාගී වූ පිරිස පළමුව කැලණිය රජමහ විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
ඉන් අනතුරුව නාවික පුද්ගලයන් සහ දහම් පාසල් දරු දැරියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සධාතුක කරඩුව රැගත් පෙරහැර වීදි සංචාරය කරන ලදී. එම පෙරහැර අවසන් වීමෙන් පසු ධර්ම දේශණය ආරම්භ වූ අතර, දොඩම්පහල ශ්‍රී රාහුල හිමිපානන් විසින් කාලීන ධර්ම දේශනාවක් පැවැත්විය. තවද, උදාවීමට නියමිත නව වර්ෂය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු සියළුම නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම, සටනේදී දිවිපිදූ නාවික රණවිරුවන්හට පින් අනුමෝදන් කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද එහිදී සිදු කෙරිණි. එම ආගමික වැඩසටහන සඳහා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

















