අනුරාධපුරයේ ස්ථාපිත තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සහ රාජාංගනය යාය තුන ගම්මානයේ අද (3) විවෘත කරන ලදි. ඒ අනුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී සිටියහ.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයේ විශේෂත්වය වන්නේ පිරිපහදු යන්ත්‍ර 83 ක් නිමවා ඉතිරි වු කොටස් එකලැස් කිරීමෙන් ප්‍රති ආස්‍රැත යන්ත්‍රයද, ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඉතිරි වූ ගොඩනැගිලි ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් ගොඩනැගිල්ලද නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ඉදි කර ස්ථාපනය කිරිමයි. තවද රාජාංගනය යාය තුන ගම්මානයේ ඉදි කළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉතා කෙටි කාලයක් තුළදී ස්ථාපිත කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් වුහ.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ සිසු දරු දැරියන් 4100 කට, ගුරුවරුන් 393 දෙනෙකුට, අනධ්‍යයන කාර්යමණ්ඩලය 47 දෙනෙකුට සහ රාජාංගනය යාය තුන ගම්මානයේ ඉදි කල ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ප්‍රදේශයේ පවුල් 600 කට පමණ සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කරමින් සිටී. මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 85 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 39,850 කට හා පාසැල් දරුවන් 33,300 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවය සඳහා පූජ්‍ය පක්ෂ්ය, උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන්, විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි විය.











